Saturday, March 22, 2008

බවුසරය නාවොත් ජලයත් නෑ

මීගමුව නගරය තුළ වෙසෙන ජනතාවට එදිනෙදා ජීවිතයට බලපාන තවත් එක් ප්‍රශ්ණයක් වන ජල ප්‍රශ්ණය පිළිබදව යමක් කිව යුතුය. මීගමුව නගරය පුරා දිවෙන ජලනල පද්ධතියක් තිබුණද සමහර ප්‍රදේශවල තැනින් තැන කරාම සවිකර තබා තිබෙන කළු පාට ටැංකි විශේෂයක් දැකිය හැක. මෙ‍ම ටැංකි දූව, දූපත් පිටිපන පල්ලිය පාර, තලාහේන වැනි ප්‍රදේශවල තබා ඇත. එම ටැංකි වලට බවුසර් මගින් ජලය ගෙනවිත් වත්කරයි. මෙම‍ බවුසර් පැමිණෙන්නේ දින දෙකකට වරක් වන අතර බවුසරය එන විටම ජලය ලබා ගත නොහැකි වුව හොත් යළිත් දින දෙකක් බලා සිටින්නට සිදුවෙයි. ජලය ලබා ගැනීමට සිටින ජනතාව වැඩි වීමත් ජල අවශ්‍යතා වැඩි විමත් නිසා එසේ සිදුවෙයි. ළිඳක්වත් කපා ගැනීමට නොහැකි කලපුව ආශ්‍රිතව ජිවත් වන අය වැඩි පුරම ජල ප්‍රශ්ණයට මුහුණ පායි. ඔවුන්ගේ එදිනෙදා සියලු ජල අවශ්‍යතා සපයා ගත යුත්තේ මෙම බවුසර් මඟින් ගෙන එන ජලය මඟිනි.

මීගමුව නගර සභාව මගින් ජලය සපයන ජලනල පද්ධතියක් තිබුණද එන ජලය ප්‍රදේශයේ සියලු දෙනාටම ලබා ගත නොහැකි වන අතර එම ජලනල පද්ධතිය මඟින් සැපයෙන ජලය මුදල් ගෙවා නිවෙස්වලට ජලපහසුකම් ලබාගත් අයද සිටින නිසා පාරේ සවිකර ඇති කරාම වලට ජලය සැපයෙන්නේ අඩු ප්‍රෙෂර් එකකිනි. එබැවින් ජලය ප්‍රමාණය ප්‍රමාණවත් නැත. සමහර කරාම වලට ජලය එන්නේම නැත. එදිනෙදා ජීවිතයේදි මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය ජලය නිසිපරිදි නොලැබීම කණගාටුවට කාරණයකි.

නගර සභා ජලනල පද්ධතිය මගින් ජලය සැපයෙන්නේ පාන්දර 3.30 (තුනයි තිහේ) සිට උදෑසන 7 (හත) දක්වාය. පාන්දර තුනට කිසිවෙකු ජල කරාමය ලඟට යන්නේ නැත. එබැවින් පාන්දර හතරේ සිට උදෑසන අට දක්වා ජලය ලබා දෙන්නේනම් වඩා හොඳය.පාන්දර හතරේ සිට පවුල් 10යක් පමණ ජල කරාමය ලගට රොක් වන අතර ළිං පහසුකම් ඇති අයට නම් ජලය අවශ්‍ය වන්නේ පානය කිරීම සඳහා පමණි.

පෝලිම් ගැසී ජලය ලබා ගැනිමට සිදුවන බැවින් රැකියාවන්ට යාමට සිටින අය අපහසුතාවට පත්වේ. මීගමුවට අයත් දූව, දුපත්, පිටිපන පල්ලියපාර හා තලාහේන සම්බන්ධ ජල ප්‍රශ්ණය සොයා බලා අවශ්‍ය පමණට නිසි ක්‍රියාදාමයක් මගින් ජලය සපයා දෙන්නේනම් මැනවි. මුල් කාලවලදි ජලය ඉල්ලා හඩ නැගු ජනතාව දැන් නිහඩව ලැබෙන පරිදි ජලය සපයාගෙන නිහඩව සිටින්නේ දිගින් දිගටම එකම පීඩාව විදීමට නොහැකි නිසා වන්නට ඇත.

ජිවනී ප්‍රනාන්දු-පිටිපන











ධීවර ජනතාවට ලස්සන හෙට දවසක් වෙනුවෙන්

පසුගිය 6, 7 සහ 8 දිනයන් හී දී නගර සභාශාලාවේ පැවති වෙරළ සම්පත් කළමණාකරන ව්‍යාපතිය හා ධීවර ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රදර්ශනය ගැන යමක් කිව යුතු යැයි මම සිතමි.
ඇත්තෙන්ම එය හොඳ වැඩසටහනක් ලෙස මම දකිමි. අපගේ දරැවන්ට හොඳ පාරසරික දැනුමක් ඉන් ලැබිණි. මේවන විට වඳවෙමින් පවතින කඩොලාන ආශ්‍රිත පැලෑටි සමහරක් අපටද දැන් අමතකව ගොස් ඇත. මතකය යළි අලුත් වුණේ ප්‍රදර්ශනයේදී නෙත ගැටෙන විටය.
පරිසරය සුරැකීම මෙන්ම මුහුද ආශ්‍රිත කොරල් පර පද්ධතියන් ආරක්ෂාකර ගැනීමද වටිනා බව දැනුණේ මෝරවලේ ඇති කොරල්පර නෙත ගැටීමෙනි. මෙතෙක් එවන් සම්පතක් අප ගම තුළ ඇති බවක් මම දැන නොසිටියෙමි. හික්කඩුවේ මේ කොරල්පර ඉතා ප්‍රසිද්ධය. එහෙත් එවැනිම කොරල්පර අප මෝරවලේද තිබීම භාග්‍යයකි.
කරුණු එසේ වුවද කනගාටුවට කාරණය නම් අප ගම් වාසින්ට මේවා රැක ගැනීමට අවශ්‍ය නොවිමයි. මුහුද හා කලපුව තම කුසගිනි නිවන අම්මා කෙනෙක් යයි සිතන්නට ඔවුන් පසුබට වීමයි. එසේ සිතන්නේ නම් මුහුදු වෙරළ කැත කරන්නේ නැත. කුණු රොඩු බෝතල් කටු ෂොපින් බෑග් දමන්නේ නැත. වැසිකිලි අපහරණ, උරන් කොටු අපද්‍රව්‍ය හා කරවල කිරිම සඳහා කපන මාලුන් ගේ අපද්‍රව්‍යය එසේ කලපුවට දමන්නේ නැත.

වෙරළ සම්පත් කළමණාකරණ ව්‍යාපතියට හා ධීවර ජලජ සම්පත් අමාත්‍යාංශයට පමණද කලපුව හා මුහුද රැකගැනීමට අවශ්‍යතාව ඇත්තේ. ධිවර ජනතාවක් වන අපද මේ හා අත්වැල් බැද හෙට දවසේ අපගේ දරුවනට යහපත් දැයක් බිහි කරමු. දරුවනට පරිසරයේ, මුහුදේ හා කලපුවේ වටිනාකම අවබෝධ කරදෙමු.

අප ධීවර ජනතාවට අත දෙන මේ ව්‍යාපති හා අපද එක්වී අපගේ අනාගතය ජය ගනිමු.


ජිවනි ප්‍රනාන්දු- පිටිපන


මිල්කා
සදා ඔබ අප අතරයි
කොතෙක් කීවද නිමකරන්නට
බැරිය ඔබ ගුණ කියා
ඔබ තරම් වූ ළබැදි මිතුරියක්
නොදැක්කෙමි මා ජීවිතය තුළ
ඔබගේ දයාබර මිතු දම
එක්කලා යළි මතු දමින් අප
අප එක්කර ඔබ වෙන් වුවද
සදා ඔබ ඇත අප අතර
දගකාර පාසැල් විය නිමාකර
යොවුන් විය පසු කර විත්
අප මව්පියන් වුවද
නැවත පාසැල් මිතුරන් ලෙස
එක් කළේ ඔබයි අප සැම
ඔබ අප වෙත පෑ දයාබර සෙනෙහස
සදා කල් පවතින්නට ඔබ වෙනුවෙන්
අප සැම එක්ව ඔබ නමින්
ඇරඹුවෙමු මිතුරැ එකතුවක්

ඔබ අප ගෙන් වෙන්ව
වසරක් ඉකුත් වුවද
තවමත් ඔබ අප අතර
ජීවත් වන බවම දැනෙනවා
දයාබර මිතුරිය මිල්කා
අපගේ අමරණීය මතකය ඔබයි


පිටිපන-ජීවනි ප්‍රනාන්දු



දිනෙන් දින අභාවයට යන
තලාහේන මාතෘ නිවාසය


දැනට වසර දහයක සිට කඩවුණ පොරොන් දුවක්ව පවතින තලාහේන මාතෘ නිවාසය
පිළිබදව මීගමුව පුරවරයේ වගකිව යුත්තන් හා ජනතාව දැනුවත් කරන පිනිස ලියමි.
තලාහේන මාතෘ නිවාසය උදය වරුවේ ඩිස්පැන්සරිය හා බදාදා දිනයන් වල ළමා හා
මව් සායනය පවත්වන අතර රාත්‍රී කල එය නිශාචරයින් ගේ තිප්පොලක්ව පවති.පෙම්වතුන් පෙම් කෙළින්නේද මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් ආතල් ගන්න එන්නේද මෙ‍ම මාතෘ නිවාස ගොඩ නැගිල්ල වෙතයි. අවට කැලෑ වැවී ඇති බැවින් පිටතට පෙනෙන්නේ නැත. මෙහි ජනෙල්, දොරවල්ද,සරනේරු ආදියද ගලවා ගෙන ඇත. වොචර් කෙනෙකු සිටිනවා කිවාට එහි සතෙක්වත් නැත. වොචර් වරයාට ක්වාටස් එකක් දී තිබුණද ඔහු මුර සේවයේ යෙදෙන බවක් ඉහත කාරණා නිසා නො‍ෙපනේ.
මෙම මාතෘ නිවාසය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් හා එය ප්‍රාථමික රෝහලක් කරදෙන මෙන් ජනතාව නැගු හඬ එදා සිට අද දක්වාම දේශපාලන නාගරික හා පළාත් සභා මන්ත්‍රීවරුන් පැහැර හැරියේය. ඔවුන්ගේ ගැලවිමට ඔවුන් දැන් පවසන්නේ මෙම රෝහල අළුත් වැඩියා කිරිම නිශ්ඵල බවය. එයට වැය කරන මුදල අපතේ යන බවයි. ඊට හේතුව ලෙස දක්වන කරුණ නම් ගැබිනි මව්වරුන් මුහුණ දෙන විවිධ රෝග තත්වයන් නිසා ඔවුන් පිළිගත් රෝහල් කරා යන බැවින් මෙවන් රෝහලකට නෙ‍ාඑන බවය.
එක් වරක් පළාත් සභා මන්ත්‍රී වරයෙක්ව සිටි නිමල් කුරේරා මහතා මෙම රෝහල ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ඔහුගේ ප්‍රතිපාදන වලින් මුදල් වෙන්කර රෝහල් කොමිටිය රැස්කරන්නැයි ඉල්ලු අවස්ථාවේ එවකට රෝහල භාරව සිටි දොරේසාමිනාගේශ්වරම් නම් වෛද්‍යවරයා එම කටයුත්ත පැහැර හැරියේය. එවකට රෝහල පවත්වා ගෙන ගියේ ඔහුට ඕන අන්දමිනි. රෝගින් සඳහා වන සේලයින් ඉන්ජෙක්ෂන් බෙහෙත් වර්ග ඔහුගේ ප්‍රයිවෙට් බෙහෙත් ශාලාවේ මුදලට දුන්නේය. ජනතාව මොහුට විරුද්ධව නැගි සිටියාය. පිකටින් ව්‍යාපාරද පැවැත්වුවාය. එහෙත් වෛද්‍යවරයා රැකගන්නට බලවතුන් හා දේශපලන බලවතුන් සිටියේය. ප්‍රතිපාදන කාල සීමාව ඉක්මවන තුරු වෛද්‍යවරයා මඟහැරියේය. පොහොසතුන්ට නොව දුප්පතුන්ට අවශ්‍යව තිබූ රෝහලේ ප්‍රතිසංස්කරණ වැඩ ඉන් නැවතින.
ඉන්පසු පැමිණි කිසිවකු මේගැන කථා කලේද නැත. දැනට සිටින අයද නිහඬව සිටි. අක්කර ප්‍රමාණයක ඉඩම වල් වැදෙමින් නිශාචරයින් ගේ තෝතැන්නක් බවට පත්ව ඇත. එහෙත් ඡන්දය සඳහා ඉදිරිපත් වු මන්ත්‍රීවරුන් පෙරට දැම්මේ මේ මාතෘ නිවාසය අලුත් වැඩියා කිරීම, ජල ප්‍රශ්නය විසඳීම යන මාතෘකා වුවද මේ වන තෙක් ඉටු නොකළේද මේවාය.
ජනතාවගේ පොදු අවශ්‍යතාවලට විසදුම් නැත. එහෙත් ජනතාවගේ පොදු ප්‍රශ්ණවලට දේශපාලඥයන් පොරොන්දු දෙති. විසදන්නේ කාගේ ප්‍රශ්ණද? ජනතාවගේද? නැතිනම් තමන්ගේම ප්‍රශ්ණද?

ජීවනී ප්‍රනාන්දු-පිටිපන



















පිටිපන ‍ෛඑතිහාසික පාස්කුව

පිටිපන පාස්කු දර්ශනය 1706 පමණ දී ආරම්භ වූ බව පැරැණ්නෝ පවසති. පරංගි යුගයේදිද මෙ‍ම පාස්කු දර්ශනය රූකඩ ආශ්‍රිතව පෙන්වු බවත්. ලන්දේශි යුගයේදි පාස්කු පෙන්වුවන් සිරගත කල බවද පැවසේ.
දිගු ඉතිහාසයක් තිබුණද පිටිපන පාස්කුව වඩාත් කථා බහට ලක් වුනේ මීට වසර කිහිපයකට පෙරය. ඒ දැනට වසර 250-300ක කාලයක සිටය. නයිදප්පුලාගේ තෝමස් ප්‍රනාන්දුගේ පියා විසින් රූකඩ පමණක් උපයෝගි කරගෙන කල පාස්කුව 1958 දී නයිදප්පුලාගේ තෝමස් ප්‍රනාන්දු කලා කරුවා විසින් රූකඩ හා ප්‍රථිමා උපයෝගි කරගෙන මිනිස් කටහඩ යොදා ගෙන පාස්කු දර්ශනය ඉදිරිපත් කර ඇත.
1965හේදි පියාගේ ආභාෂයද සහජ හැකියාවද උපයෝගි කර ගනිමින් ඔහුගේ පුත්‍රවු නයිදප්පුලාගේ එම්මානුවෙල් සලමන් ප්‍රනාන්දු නම් 28 හැවිරිදි තරුණයා ඔහුගේම අතින් ලියවුන පාස්කු පිටපතක් උපයෝගි කරගනිමින් මිනිසුන්ව යොදා ගනිමින් නගර සභා ශාලාවේදි මහා පාස්කු දර්ශනය නමින් පාස්කුව නව මුහුණුවරකින් ඉදිරිපත් කර ඇත.
ප්‍රථම වරට ජේසුස් වහන්සේගේ චරිතය සදහා මනුෂ්‍යයකු යොදා ගත් ප්‍රථම අධ්‍යාක්ෂක වරයා වන්නේද ඔහුය. නගරසභා ශාලාවේ පෙන්වු මහා පාස්කු දර්ශනය. ඊට පසුව පිටිපන ‍ෛඑතිහාසික පාස්කු මණ්ඩපයේදි ඉදිරිපත් කර ඇත.ඔහු විසින් 1976 දක්වා ඔහුගේ පාස්කුව පිටිපන පාස්කු මණ්ඩපයේදි ඉදිරිපත් කර ඇති අතර වේදිකා නිර්මාණ, ඇදුම් නිර්මාණ හා වේශ නිරෑපනයද? ඔහු විසින්ම සිදුකර ඇත. ඔහුගේ සහය අධ්‍යක්ෂක වරයා ලෙස සෙබස්තියන් මහතා උදව් කර ඇත.
සලමන් ප්‍රනාන්දු මහතාගේ පාස්කු දර්ශනය ගැන අද පරපුරට ඇත්තේ දෙමාපියන් විසින් පවසන්නක් මිස නව පරපුරට නම් එය දැකිමට අවස්ථාවක් වේදැයි නොදනිමි. සලමන් මහතාගේ දියණිය හා පුතාද පියාගේ පාස්කුව ඉදිරිපත් කිරිම කෙරේ එතරම් උනන්දුවක් නොදක්වයි.
සලමන් මහතාගේ දියණිය විසින් පැවසු කථාව
මගේ තාත්තා නයිදප්පුලාගේ එම්මානුවෙල් සලමන් ප්‍රනාන්දු ඔහු ග්‍රාම නිලධාරියෙක් ලෙස සේවය කලා දැනට තාත්තා ජීවතුන් අතර නැහැ.
පිටිපන පාස්කුව අපි දන්න තරමින් තාත්තාගේ ලොකු තාත්තා විසින් මෙහෙයවනු ලැබු රෑකඩ පාස්කුව ඊට පසුව තාත්තාගේ තාත්තා විසින් ඉදිරිපත් කර ඇත. 1965 හේදි තාත්තා විසින්ම පිටපත ලියා මිනිසුන් යොදා ගනිමින් ඔහුම අධ්‍යක්ෂණය කර ඇත. එය ප්‍රථම වරට ඔහු පෙන්වූයේ නගර සභා ශාලාවේදිය.
පිටිපන තොරතුරු